Tuesday, February 25, 2014

බ්රූස් ලී ගේ ගුරුවරයා!


බ්රූස් ලී ගේ ගුරුවරයා!

ලොව මහත් විප්ලවයක් සිදු කල බ්රූස් ලී නොහොත් ජුන් ෆාන් ලී ගේ ගුරුවරයා කවුදැයි වසර ගණනක් මුළුල්ලේම ලොවට අභිරහසක් විය. මේ සා වූ දක්ෂයෙක් ලොවට බිහි කරවීමට එසේ මෙසේ ගුරුවරයකුට නොහැකි බව බොහෝ සටන් කළා ශිල්පීන්ගේ මතය විය. එම නිසා ම ඔවුන් බ්රූස් ලී ගේ ගුරුවරයා සෙවීමට බෙහෙවින් උත්සුක වූහ. එහිදී පැහැදිලි වූයේ ඔහුට එක් ගුරුවරයෙක් නොව ගුරුවරු රැසක් ම සිට ඇති බවයි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් බ්රූස් ලී ගේ සාර්ථකත්වය පසුපස සිටි විශාලතම බල කනුව‍ පිලිබඳ තොරතුරු හෙළි විය. බ්රූස් ලී ගේ දක්ෂතා අනන්ත වුවත් ඔහු ලෝක ප්‍රකට වන්නේ ඔහුට තිබූ අදහාගත නොහැකි අසීම්ත වේගයයි. ඒ වේගය ඔහුට උරුම කර දුන්නේ 'යිප්-මාන්' නමැති මේ රූපයේ සිටින කෙසඟ මිනිසායි.

මොහුගේ සම්පූර්ණ නම 'යිප් කායි-මාන්' (Yip Kai-man) වන අතර 1893 ඔක්තෝබර් මස 1 වන දින යිප් ඔයි-ඩොර් (පියා) සහ නෙග් ෂුයි (මව) යන දෙදෙනාට දාව මොහු මෙලොව එලිය දුටුවේය. දරුවන් සතර දෙනෙකු සිටි ධනවත් පවුලක තුන් වැන්නා වූ මොහු හැදී වැඩුනේ චීනයේ ෆෝශාන්, ගුආන්ග්ඩොන්ග් නමැති ග්‍රාමයේය.

යිප්-මාන් වයස 13 දී එවක අති ප්‍රවීණ සටන් ගුරුවරයකු වූ චෑන් වාහ්-සුන් යටතේ 'වින්ග් චුන් කුන්ග්-ෆු' නැමැති අති ප්‍රබල සටන් ක්‍රමය ඉගෙනගැනීමට පටන් ගත්තේය. එවක වයස අවුරුදු 70 ක් වූ එම ගුරුවරයාගේ අවසාන සිසුවාද වූයේ 'යිප්-මාන්' ය. එනමුත් චෑන් වාහ්-සුන් වයෝවෘද්ධ නිසා යිප් වින්ග් චුන් ඉගැන්වීම් බොහොමයක් ලබන්නේ චෑන් ගේ දෙවැනි ජේෂ්ටතම ගෝලයා වූ 'නෙග් චන්ග්-සොක්' ගෙනි. යිප් මෙම සටන් පාසලට ඇතුලත් වී තෙවසරකට පසුව චෑන් මෙලොවින් සමුගත්තේය. ඉන්පසුව දිගටම යිප් ගේ ගුරුවරයා වූයේ චන්ග් ය.

වයස  16 දී යිප් අධ්‍යාපනික කටයුතු සඳහා හොන්ග් කොංග්‍ වෙත පිටත්ව ගියේය. ඉන් වසරකට පසුව හොන්ග්-කොංග්‍ හි විදේශිකයන්ට හා ප්‍රභූන්ටම පමණක් වෙන් වූ ශාන්ත ස්ටීවන් විදුහලට ඔහු ඇතුලත් විය. (මේ හොන්ග් කොංග්‍ හි 99 බද්ද ක්‍රියාත්මක වූ වකවානුවයි) දිනක් විදෙස් පොලිස්කරුවකු අතින් කාන්තාවක් අතවරයට ලක්වන බව දුටු යිප් ඇයව බේරාගැනීම සඳහා එම පොලිස්කරුවාට පහර දී සිය මිතුරා සමඟ සිය පාසල වෙත පලා ගියේය. යිප් ගේ අගනා වින්ග් චුන් හැකියාව වටහාගත් සිය මිතුරා ඔහුව එකල හොන්ග් කොංග්‍-හි විසු රහසිගත වින්ග් චුන් ගුරුවරයකු වූ ලියෝන්ග් බික් වෙත යොමු කරවන ලදී. ලියෝන්ග් බික් යනු උක්ත චෑන් වාහ්-සුන් ගේ පවා ගුරුවරයා වූ ලියෝන්ග් ජෑන් ගේ පුත්‍රයාය. සැබවින්ම ඔහු චෑන් ට වඩා වින්ග් චුන් සටන් ක්‍රමයේ ජේෂ්ට නමුත් අභියෝගාත්මක සටන්වලට අකමැති සාමකාමී පුද්ගලයෙකු නිසා ඔහු වින්ග් චුන් මුල් පුටුව සටන් වැදීම සඳහා ප්‍රතික්ෂේප කොට ෆෝශාන් වලින් හොන්ග් කොංග්‍ වෙත පැමිණෙන ලදී.

චෑන්ට එකල ජෑන් ගෙන් ලැබුනේ සැබෑ වින්ග් චුන් ශාස්ත්‍රය නොව ඔහු විසින් වෙනස් කර උගන්වන ලද වින්ග් චුන් ක්‍රමයකි. එම නිසා සැබෑ වින්ග් චුන් ක්‍රමය සතු වූයේ ලියෝන්ග් බික් සතුව පමණි. යිප් ප්‍රථමයෙන් බික් හමුවෙන මොහොතේදී යිප් ඔහුව හඳුනාගෙන සිටියේ නැත. නමුත් යිප් 'ලියෝන්ග් බික්' නැමැති වින්ග් චුන් මහාචාර්යයවරයා ගැන හොඳින් අසා තිබුනේය. එම හමුව වෙන අවස්ථාවේ දී යිප් මාන් යනු කවුරුන්දැයි බික් දැන සිටියේය. යිප් මාන් ගේ උක්ත වීර ක්‍රියාව ගැනද බික් දැන සිටියේය. නමුත් බික් යිප් ට පැවසූවේ 'ඔබගේ වින්ග් චුන් 100% ක්ම නිවැරදි හා කාර්යක්ෂම නොවන' බවය. එහි ප්‍රතිපලයක් ලෙස බික් සහ යිප් අතර වින්ග් චුන් සටන් ක්‍රමයේ එන 'චී-සාඕ' නමැති යෙදුණු සටන් හරඹයෙන් යිප්ට එකඳු පහරක්වත් බික් වෙත දියත් කරවීමට අවස්ථාව නොලැබුණි. අවසානයේදී බික් තමාව යිප්ට හඳුන්වා දුන්නේය. මෙයින් යිප් මහත් වූ පුදුමයට හා සතුටට පත් වූ අතර බික් යටතේ ඔහුගේ ප්‍රථම සහ අවසාන ගෝලයා ලෙස ගුරු පඬුරු වලින් තොරවම සැබෑ වින්ග් චුන් පුහුණුව ලැබීය.

සිය අධ්‍යාපන කටයුතු අවසාන වීමත් සමඟම ඔහුගේ සැබෑ වින්ග් චුන් පුහුණුවත් නිම විය. පසුව ඔහු නැවතත් සිය ගම්රට බලා පිටත් ව ගොස් සිය වින්ග් චුන් පාසල වෙතට ගොස් එහිදී තමාට වින්ග් චුන් ඉගැන්වූ ගුරුවරයාව පවා සටනකින් පරාජය කළේය. එවක ෆෝශාන් හි සිටි සියලුම වින්ග් චුන් කරුවන් පරාජය කල මොහු පසුව ඔහු උගත් වින්ග් චුන් ක්‍රම දෙක සහ තමාගේම සටන් උපක්‍රමත් මිශ්‍ර කොට නවීන වින්ග් චුන් සටන් සම්ප්‍රදායයේ මහාචාර්යයවරයා බවට පත් විය.

චෑන් ගේ වින්ග් චුන් සම්ප්‍රදායයේ ඉනෙන් ඉහලට පා පහරවල් එල්ල නොකළ නමුත් බික් ගේ සැබෑ වින්ග් චුන් තුල ඉනෙන් ඉහලට පා පහරවල් එල්ල කරන ලදී. එපමණක් නොව චෑන් ගේ වින්ග් චුන් තුල නොවූ මාරාන්තික නිල සටන් ක්‍රමයක් බික් ගේ වින්ග් චුන් වල අන්තර්ගත විය.

යිප්-මාන් තමාගේ ගෝලයන් ලෙස බඳවා ගනු ලැබුවේ ඉතාමත් සීමිත පිරිසක් වූ අතර ඔහුගෙන් බිහි වූ හොඳම සිසුවා ලෙස බ්රූස් ලී සැලකේ. මීට අමතරව යිප්-මාන් ගේ සෘජු පුහුණුව ලැබූ ගෝලයන් ලෙස සැලකෙන්නේ ලියුන්ග් ෂෙයුන්ග්, වොන්ග් ෂුන් ලියුන්ග් හා විලියම් චුන්ග් ය.

යිප්-මාන් යනු අතිශයෙන්ම සමාජයීය අසාධාරණ කම් වලට ලක් වුවත් සිය සටන් කලාවේ මහිමයෙන් ඒ සියල්ලටම සාර්ථක ලෙස මුහුණ දුන් අයෙකි. මෙතුමාගේ ජීවිත කතාව රසික සිත් සතන් විකසිත වන ලෙස චිත්‍රපටි මාලාවකට පෙරලා ඇත.

පහත  ටොරෙන්ට් ලින්කු වෙත ගොස් පිළිවෙලින් ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාව නරඹන්න!



1. http://tpb.piraten.lu/torrent/5776130/IP_MAN_The_Legend_is_Born_2010_DVDRip-BBa%28ENG_SUBS%29 (යිප් මාන් 3 ලෙස සාමාන්‍යය ව්‍යවහාරයේදී මෙම චිත්‍රපටය හැඳින්වූවත් මෙය ප්‍රථමයෙන් නරඹන්න! මන්ද පසුවට පැමිණියත් මෙය යිප් මාන් 1 වේ.)




2. http://thepiratebay.se/torrent/5630690# (ඉන් පසුව මෙම චිත්‍රපට දෙක නරඹන්න!)

උගුරේ ඇති වුණු පිළිකාවක් හේතුවෙන් මෙතුමා වර්ෂ 1972 දෙසැම්බර් මස 2 වැනි දින අවුරුදු 79 ක් ආයු වළඳමින් හොන්ග් වලදී මෙලොවින් සමුගත්තේය!

සැබෑ යිප්-මාන් සටන් පුහුණු වන අවස්ථාවක්!



****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

0 comments:

Post a Comment